• Today is: Friday, January 19, 2018
නව ලොව සහ වෛද්‍ය විද්‍යාව

ලෙඩ රෝගයි-ප්‍රතිකාරයි ඉතිහාසේ මේ වාගෙයි
ඉස්සර ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත් සමහර දේවල් පස්සෙ කාලෙකට වුවමනා වේවි කියලා ඇත්තටම හිතුණේ නැහැ. නමුත් සමහර වේලාවට අපි හිතන්නේවත් නැති දේවල් හිතන්නේවත් නැති තැන්වලට හිතන්නේවත් නැති වේලාවක වුවමනා වෙනවා.

Share

inShare
Email
Mawbima, 2015-08-08 02:00:00 Read 504 Times
ඉස්සර ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත් සමහර දේවල් පස්සෙ කාලෙකට වුවමනා වේවි කියලා ඇත්තටම හිතුණේ නැහැ. නමුත් සමහර වේලාවට අපි හිතන්නේවත් නැති දේවල් හිතන්නේවත් නැති තැන්වලට හිතන්නේවත් නැති වේලාවක වුවමනා වෙනවා. මාධ්‍යවේදියෙක් වෙන්න පොඩි කාලේ ඉඳලම ලොකු හීනයක් තියන කෙනකුට වෛද්‍ය විද්‍යාව කියන්නේ අවශ්‍යම දෙයක් නෙවෙයි. නමුත් මාධ්‍යවේදියකුටත් වෛද්‍ය විද්‍යාව වුවමනා වෙනවා. ඒ මොකටද කොහෙටද කියලා කියන්න දන්නේ නැහැ.

කොහොම වුණත් කාලයක් තිස්සේ ඉඳලා වෛද්‍ය විද්‍යාව මටත් එක එක විදියට වුවමනා වුණා. කැස්සට, සෙම්ප්‍රතිශ්‍යාවට කසාය උගුරක් බිව්වට ලෙඩකට කියලා තියෙන්නේ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව විතරක්ම නෙවෙයි නේ. මිනිසුන්ට මොන තරම් ලෙඩ රෝග හැදෙනවද?
පසුගිය කාලයක් පුරාවටම පාරදිගේ අපි ඔයාට පිළිකා රෝග ගැන කතා කළා. ඔයාම හිතන්න මිනිස්සු විඳවන තරම මොන වගේද කියලා. ඉතින් වෛද්‍ය විද්‍යාව ගැන මේ පිටුවකින් කියන්න බැරි තරම් කාරණා හුඟක් තියෙනවා කියලා එයින්ම හිතා ගන්න පුළුවන් නේ.
කොහොම වුණත් මට ආයෙමත් ඒ වගේ කතා මාලාවකට මුලපුරන්නට කියලා අනුරාධ අයියා එහෙමත් නැත්නම් ඔය කොයි කවුරුත් දන්න අනූ එදිරිසිංහ මහත්මයා පුංචි ආරාධනාවක් කළා. පාසල් කාලෙදීම ඕන නෑ කියලා අත් ඇරපු වෛද්‍ය විද්‍යාව මගේ ජීවිතයට ආපසු ආවේ අන්න ඒ විදියට.
කතාවක් කියන්න කලින් කතාවට ඉතිහාසයක් තියෙන්න ඕන නේ. පුස්තකාලයට, පොත්පත්වලට වෛද්‍ය ශිෂ්‍ය මිතුරියන් දෙදෙනාට පින් සිද්ධ වෙන්න වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය ටිකක් හාරා අවුස්ස ගන්න මට පුළුවන් වුණා. ඔය අපේ රටේ වගේම ලෝකය පුරාම භූතයෝ, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ සැරිසරලා තියෙනවා. අදටත් සැරිසරනවා. ඉතින් ලෝක ඉතිහාසයේ වෛද්‍ය විද්‍යාවටත් යක්‍ෂයෝ, ප්‍රේතයෝ බලපෑම් කරලා තියෙන බව මේ ලිපි ලේඛන කියවද්දී මට තේරුණා.
විශේෂයෙන් මිසර, ඊජිප්තු යුගවල දෙවියන්, ප්‍රේතයන් ලෙඩ රෝග බෝ කළ බවට මිනිසුන් විශ්වාස කළා කියන්න සාක්‍ෂි ඕන තරම් තියෙනවා. ඊජිප්තු පිරමීඩ ආශි්‍රතව කැණීම් කළ අයටත් ලෙඩ රෝග බෝ කරන යක්‍ෂයන්ගේ ශාපයක් වදිනවා කියලා කතාවක් තවමත් තිබෙනවා කියලයි කියන්නේ.
කොහොම වුණත් ප්‍රාග් ඓතිහාසික වෛද්‍ය විද්‍යාව පිළිබඳව තහවුරු කිරීමට තරම් සාක්‍ෂි නැති වුණත්, කොළ, පොතු, පැළෑටි යොදාගෙන ප්‍රතිකාර කරන ක්‍රමයක් තිබුණා. අදටත් අපේ රටේ කොළ, පොතු, ගෙඩි ආදී ද්‍රව්‍ය යොදාගෙන ප්‍රතිකාර කරනවා. බොහෝ විට ගසේ පංචාංගයම යොදාගෙන සිංහල ආයුර්වේදයේ ප්‍රතිකාර කරනු දකින්න පුළුවන්.

ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන ගත්තොත් නම් ඉතා දියුණු පුළුල් හා ප්‍රතිඵලදායී වෛද්‍ය සංස්කෘතියක් තිබුණා. හෙරඩෝටස් නමැත්තා විසින් ලිබියානුවන්ට පස්සේ ලෝකේ ඉන්න සෞඛ්‍ය සම්පන්නම මිනිස්සු විදියට ඊජිප්තු වැසියන් හැඳින්වූවේ නිකන්ම නෙවෙයි. ඒ තරම්ම දියුණු වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් ඊජිප්තු වැසියන් සතුව තිබුණා.
ඒ කාලේ ඊජිප්තුවේ වෛද්‍ය විද්‍යාව මොන තරම් දියුණුද කියනවා නම් එක ලෙඩකට හිටියේ එක වෛද්‍යවරයෙක් විතරයි. ඒ තරම් වෛද්‍ය වෘත්තිකයන් ප්‍රමාණයක් ඔවුන්ට හිටියා. ඒ වගේම ලෝකයේ පළමු සැත්කම ක්‍රිස්තු පූර්ව 2750දී පමණ ඊජිප්තුවේ සිදු කරලා තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 1600දී පමණ ලියැවුණු පැපිරස් පුස්තකය සැත්කම් සඳහාම ලියැවුණු පොතක් කියලා කියන්නත් පුළුවන්.
රෝගීන් පරීක්‍ෂා කිරීම, රෝග නිර්ණය, ප්‍රතිකාර හා සුව වීමේ ප්‍රවණතාව ගැන පැහැදිලිව මේ පොතේ ලියවිලා තිබෙනවා කියලත් කියන්න පුළුවන්. ප්‍රසව හා නාරි වේදයේද හොඳ දියුණුවක් ලබා සිටි ඊජිප්තුව කෝන් පැපිරස් නම් පුස්තකයක් මඟින් ගැබ් ගැනීම ඇතුළු සියලු නාරි රෝග පිළිබඳව විස්තර සපයා තිබෙනවා.
ඊජිප්තුවේ පළමු වැනි රාජ්‍ය සමය තුළ වෛද්‍ය විද්‍යාව බිහි වෙලා 19 වැනි රාජ්‍ය අවධිය වෙද්දී වෛද්‍ය රක්‍ෂණ, විශ්‍රාම වැටුප්, ලෙඩ නිවාඩු ආදී ප්‍රතිලාභ රැසක් සමහර වෛද්‍ය සේවයේ නියුතු සේවකයන්ට ලැබිලා තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 27 වැනි සියවසේදී ලොව ප්‍රථම වෛද්‍යවරයා ලෙස නම් කළ හැකි හේසී රා හෙවත් වෛද්‍යවරුන්ගේ හා දන්ත වෛද්‍යවරුන්ගේ ප්‍රධානියා ලෙස නම් ලද පුද්ගලයකු සිටි බවටත් සාක්‍ෂි පෙන්වා දෙන්න පුළුවන්.
ඉන් පසුව උදා වෙන්නේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය. ඒ කාලේ වෛද්‍යවරයකු වන බෝසිප්පා හි එසාගිල් – කින් – ඇජලි ලියපු රෝග නිර්ණය අත්පොත ඉතාම වැදගත් තැනක් ගන්නවා. ඊජිප්තු වෛද්‍ය ක්‍ෂේත්‍රයත් එක්ක එකතු වෙලා එහි තොරතුරු අරගෙන මේ අය එතැනින් නවතින්නේ නැතිව රෝග නිර්ණය, රෝග සුවවීම, කායික පරීක්‍ෂණ, ඔෟෂධ කියන දේවල් හඳුන්වා දුන්නා.

මෝසස්ගේ පංච ග්‍රන්ථවල ලියවිලා තියෙන වෛද්‍ය ශිෂ්ටාචාරයත් මෙතැනදී හුඟක් වැදගත්. එහිදී ආසාදිත පුද්ගලයන් වෙන්කර තැබීම, අපද්‍රව්‍ය වැළලීම, දෑත් සේදීම හා පිරිසුදුකම වගේ නීති මෙහි තිබුණා.
මීළඟට දියුණු වෛද්‍ය ක්‍රමයක් විදියට චීන පාරම්පරික වෛද්‍ය විද්‍යාව හඳුන්වන්න පුළුවන්. චීනය කියන්නේ මිනිස් අත්දැකීම් හා පරිසරය ඒකාබද්ධ වෙලා ලෙඩ හැදෙනවා කියලයි. ඒක විශ්වයේ නීතියක්. හුයැන්ගී කිජී කියන්නේ චීන වෛද්‍ය විද්‍යාව ඉහළට ඉදිරියට ගෙන ගිය පොත් දෙකක්. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 56දී ෂැං ලියැං හොයා ගත්ත “මෙන්ග්” කියන උපකරණය නූතන වෙද නළාවේ මූලාරම්භය විදියට සැලකෙනවා.
ගී්‍රසියේ ප්‍රථම වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේ ක්‍රිස්තු පූර්ව 700දී නයිඩස්වලදීය. සුව කිරීමේ දෙවියන් වූ ඇස්ලේපියා නමින් වූ දේවස්ථාන සුව කිරීමේ හා වෛද්‍ය උපදෙස් ලබාදීමේ මධ්‍යස්ථාන විදියට ක්‍රියාත්මක වුණා.
වෛද්‍ය විද්‍යාවේ යෝධ ප්‍රතිරූපයක් විදියට කොස්හි හිපොක්‍රටීස් නම් වෛද්‍යවරයා හඳුන්වන්න පුළුවන්. නූතන වෛද්‍ය විද්‍යාවේ පියා විදියට ඔහු හඳුන්වනවා. අද දක්වාම පවතින වෛද්‍යවරුන්ගේ හිපොක්‍රටීස් ප්‍රතිඥාවේ නිර්මාතෘ වන්නෙත් ඔහුයි.
පුරාණ ලෝකයේ හිටපු දක්‍ෂ වෛද්‍යවරයෙක් විදියට හිපොක්‍රටීස් හඳුන්වන්න පුළුවන්. මොළයේ සහ අක්‍ෂි ශල්‍යකර්ම රැසක් සාර්ථකව සිදු කළ ඔහු රෝමානුවන් සමඟ එක්වී විවිධ ශල්‍යකර්ම උපකරණ රැසක් සොයා ගත්තා.
මීට අමතරව විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ ආල්කින්ඩි සහ අබුල් කාසිම් ගැනයි. ආල්කින්ඩි විසින් ඩී ග්‍රැඩයිබස් ග්‍රන්ථය ලිව්වා. එහිදී ඔහු වෛද්‍ය විද්‍යාවට ගණිතමය ක්‍රම යොදා ගන්නා ආකාරය පිළිබඳව කතා කළා.

සවිස්තරාත්මක වෛද්‍ය විද්‍යාව කියන පොතෙන් සරම්ප, පැපොල වැනි රෝග හඳුන්වා දීලා අවශ්‍ය ප්‍රතිකාර පවා කරන්නට ඔහු සමත් වුණා.
නූතන ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා විදියට අබුල් කාසිම් හඳුන්වනවා. 17 වැනි සියවස වනතුරු යුරෝපය හා මුස්ලිම් වෛද්‍ය විද්‍යාව තුළ භාවිත වූ කාණ්ඩ 30ක් සහිත විශ්ව කෝෂය රචනා කළෙත් ඔහුයි.
මේ විදියට දියුණු වුණු වෛද්‍ය විද්‍යාව විවිධ පරිණාමයන්ට, හැලහැප්පීම්වලට, ඝට්ටනවලට ලක් වෙමින් අලුත් සොයා ගැනීම්, පැරැණි න්‍යායන්, යල් පැන ගිය න්‍යායන් ඉවත් වෙමින් දීර්ඝ ගමනක් ආවා. මධ්‍යතන ක්‍රිස්තියානි යුගයේදී වෛද්‍ය විද්‍යාව ඉතාමත් පහත් තත්ත්වයට පත් වුණා. විද්‍යාව විතරක්ම නෙවෙයි, දේශපාලනය, තාරකා විද්‍යාව වැනි විශිෂ්ට ක්‍ෂේත්‍ර රැසක්ම ක්‍රිස්තියානි පල්ලියට යටත් වුණේ මේ කියන කාලයේදීයි.
ඉතා විශිෂ්ට ගණයේ ලා සැලකිය හැකි විද්වතුන් විද්‍යාඥයන් රැසක් ක්‍ෂේත්‍රයට අහිමි වෙන්නත්, මධ්‍යතන යුගයේ ක්‍රිස්තියානි පල්ලිය බලවත් වීම හේතු වුණා. පල්ලියට හා දේව මැවුම්වාදයට එරෙහිව යන මතවාද පළ කළ බොහෝ දෙනකුට මරණ දඬුවම හිමි වීම එයට හේතුවයි.
මේ සියලු හැලහැප්පීම් මැද 19 වැනි සියවසේදී ලොව පුරාම වෛද්‍ය විද්‍යාවේ නව විප්ලවයන් සිද්ධ වෙන්න පටන් ගත්තා. රසායන විද්‍යාව හා පරීක්‍ෂණාගාර උපකරණ පහසුකම් ශීඝ්‍රයෙන් දියුණු වුණා. ඇන්ටන් වෑන් ලිවෑන් හුක් විසින් අණ්වීක්‍ෂය සොයා ගැනීම තුළින් වෛද්‍ය විද්‍යාව නවමු මාර්ගයකට යොමු වුණේ 1679දීයි.
1859දී චාල්ස් ඩාවින් පරිණාමවාදය ලොවට හඳුන්වාදී ජීවයේ ඇරැඹුම නම් ග්‍රන්ථය ලිවීමෙන් පසු 1865දී ගේ‍රගර් මෙන්ඩල් විසින් ප්‍රසිද්ධ ග්‍රන්ථයක් වූ මෙන්ඩලීය නීතිය පළ කළා. මෙය ජාන විද්‍යාවේ මූලික හරය වනවා.

1953දී වොට්සන් සහ ක්‍රික් ච්. ව්. ඒ. සොයා ගැනීම, ලුවී පාස්චර් විසින් ක්‍ෂුද්‍ර ජීවීන් හා රෝග අතර සම්බන්ධය සොයා ගැනීම, විලියම් හාවිගේ ජෛව ජනනවාදී සොයා ගැනීම්, ෆ්ලෝරන්ස් නයිටින්ගේල් වැනි කාන්තාවන්ගේ දායකත්වය නූතන වෛද්‍ය විද්‍යාවට නව මං හෙළි කළා.
එක්සත් ජනපදයේ විසූ එලිසබෙත් බ්ලැක්වෙන් විධිමත්ව වෛද්‍ය විද්‍යාව හදාරා එහි යෙදුණු පළමු කාන්තාව වනවා.
පළමු ලෝක යුද්ධය සමයේදී රොන්ඩිජන් විසින් එක්ස් කිරණ ප්‍රතිකාර සොයා ගැනීමත්, දෙවැනි ලෝක යුද සමයේදී ප්‍රතිජීවක ඔෟෂධ භාවිතය ප්‍රචලිත වීමත්, ලොව වෛද්‍ය විද්‍යාව දියුණු වීමට ඉමහත් සේවයක් වුණා.
අන්න ඒ කියන දියුණු වෛද්‍ය විද්‍යාව තුන් වැනි ලෝකයේ රටවලට සහ ධනවත් රටවලට සපයන සේවාවෙන් විශේෂත්වයක් තියෙනවා. ඒ වගේම අපේ රට ගැන ගත්තොත් එය තවත් විශේෂයි. වෛද්‍ය විද්‍යාව එක් පැත්තකින් දියුණු වෙද්දී ලෙඩ රෝග විවිධ මාරාන්තික ප්‍රතිඵල සහිතව තවත් පැත්තකින් හිස ඔසවනවා. අන්න ඒ ගැන ලබන සතියේ ඉඳලා කතා කරන්න අප සූදානම්.

මෙතැනදී සමාජ රෝගවලට විශේෂ තැනක් දෙන්න අපි සූදානම්. ලිංගික අවයවයක් ගැන තියා එළිපිට සෙක්ස් කියන වචනයවත් කතා කරන්න බැරි සමාජයකට ඒඩ්ස් හැදෙන එක අහන්න දෙයක් නෙවෙයි. එළිපිට කරන්න බැරි දේවල් හොරෙන් කරන්න ගිහින් වැරැදුණු අය මුණගැහිලා ඒ අයගේ අත්දැකීම් එක්කම අපි ඔයාට කතා කරන්න ලෑස්තියි. සෙක්ස් කියන්නේ වචනයක් විතරයි. ඒඩ්ස් කියන්නේ ලෙඩක් විතරයි. ඒඩ්ස් සුව කරන්න බැහැ. නමුත් වළක්වා ගන්න පුළුවන්. ඒක නියතයක්.

කතාව – හංසි ආටිගල